
පොලිස් ක්‍රීඩා නිල ඇඳුමකට සමාන ඇඳුමකින් සැරසුණු පුද්ගලයකු විසින් මිනුවන්ගොඩ, යාගොඩමුල්ල ප්‍රදේශයේ පස් ව්‍යාපාරිකයකු වෙඩි තබා ඝාතනය කිරීමට දැරූ උත්සාහයක්, එම අවස්ථාවේදී ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ව්‍යර්ථ වී ඇති බව මිනුවන්ගොඩ පොලිසිය වාර්තා කරයි. සැකකරු පළා යාමට උත්සාහ කිරීමේදී ව්‍යාපාරිකයා තමන් ආහාර ගනිමින් සිටි පිඟානෙන්ද, ඔහුගේ බිරිඳ ප්ලාස්ටික් පුටුවකින්ද පහර දී තිබේ.
මෙම සිදුවීම පසුගිය 13 වන දින දහවල් 2.20 ට පමණ ව්‍යාපාරිකයාගේ නිවස ඉදිරිපිටදී සිදුවී ඇත. පොලිස් ක්‍රීඩා ඇඳුමින් සැරසී පා ගමනින් පැමිණි තුවක්කුකරු, නිවස ඉදිරිපිට ආහාර ගනිමින් සිටි දිලීප නමැති ව්‍යාපාරිකයාගෙන් ‘දිලීප කවුදැයි’ විමසා තිබේ. තමන් දිලීප බව පවසමින් ව්‍යාපාරිකයා නැගිට සැකකරු වෙත ළඟා වනවාත් සමගම, සැකකරු තමන් සඟවාගෙන සිටි ගිනි අවිය එළියට ගෙන වෙඩි ප්‍රහාර තුනක් එල්ල කිරීමට උත්සාහ කර ඇත.
ගිනි අවිය ක්‍රියා විරහිත වීමත් සමග ක්ෂණිකව ක්‍රියාත්මක වූ ව්‍යාපාරිකයා අතැති බත් පිඟානෙන් තුවක්කුකරුට පහර දී ඇති අතර, ඒ සමගම ඔහුගේ බිරිඳද ප්ලාස්ටික් පුටුවකින් පහර දීමත් සමග සැකකරු නුදුරේ නවතා තිබූ යතුරුපැදියක නැගී පළා ගොස් ඇති බව පොලිස් පරීක්ෂණ මගින් හෙළිදරව් වී තිබේ. මීට දින කිහිපයකට පෙර සිට සිය පස් ජාවාරම නවත්වන ලෙසට මෙම ව්‍යාපාරිකයාට තර්ජන එල්ල වී තිබූ බවද විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මෙම ඝාතන උත්සාහයට ලක්වූ ව්‍යාපාරිකයා, කලකට ඉහතදී ජාඇල, දඬුගම් ඔයේ වැටී මියගිය සංවිධානාත්මක අපරාධකරුවකු වූ ‘පොල්වත්තේ කළු අජිත්’ නැමැත්තාගේ සමීපතමයකු බවට තොරතුරු ලැබී ඇත.
වෙඩි තැබීමට පැමිණි පුද්ගලයා, ගණේමුල්ල සංජීවගේ සමීපතමයකු වන ‘වෑලිය සුරාජ්’ නැමැත්තාගේ ගෝලයකු බවට පොලිසිය සැක පහළ කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී.ඩී.එස්. පියදර්ශන මහතාගේ මෙහෙයවීම යටතේ පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි. සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් තුනක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී නීතිඥ උදය කුමාර මහතා තහවුරු කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval